Wednesday, June 19, 2013

පරිගණකයේ මූලික කොටස් හඳුනාගනිමු... (පළමු කොටස)

කලින් පළ වූ ලිපියක සඳහන් පරිදි පරිගණක මෙහෙයුම් පද්ධතිය කුමක්දැයි හඳුනාගැනීමට ප්‍රථම එම පරිගණක මෙහෙයුම් පද්ධතිය ධාවනය වීම සඳහා පරිගණකයේ තිබිය යුතු මූලික අවශ්‍යතා හඳුනාගැනීමට පරිගණකයේ කොටස් පිළිබඳව දළ අවබෝධයක් ලබා තිබීම අවශ්‍ය වේ. එ බැවින් අපි පරිගණකයේ කොටස් පිළිබඳව යම් කිසි හැඳින්වීමක් ලබා ගනිමු.

පරිගණකයක් යනු අප විසින් ලබා දෙන දත්තයන් ගබඩා කරගැනීම, දත්ත සකස් කිරීම හා සකස් කළ දත්ත අප විසින් ලබා ගැනීම සඳහා මූලිකවම සකස් කරන ලද උපකරණයකි.
පරිගණකයක් සෑදී ඇත්තේ විවිධාකාර වූ දෘඩාංග කොටස් එකතු වීමෙනි. පරිගණකයේ මෙම දෘඩාංග කොටස් හා මෘදුකාංග කොටස් එකතු වීමෙන් පරිගණකය සාමාන්‍ය වැඩ කටයුතු කරගත හැකිවන පරිදි සකස් වී ඇත.

ප්‍රධාන වශයෙන්ම දත්ත ඇතුළත් කිරීම සඳහා 

පරිගණකයක වැඩ කටයුතු සිදුකරගෙන යාමට අත්‍යාවශ්‍ය පරිගණක දෘඩාංග කිහිපයක් පිළිබඳව අපි දැන් සලකා බලමු.
   


මව් පුවරුව (Mother Board)


මව් පුවරුව මත පරිගණකයෙන් සිදු කරන විවිධාකාර වූ ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය කරන දෘඩාංග පිහිටුවා ඇත. එනම්, ග්‍රැෆික් කාඩ්, රැම්, ප්‍රොසෙසරය, ආදී උපාංග සවි කිරීම සඳහා විශේෂිත වූ ස්ථාන මව් පුවරුව මත පිහිටයි. පරිගණකයේ ප්‍රධානතම ඒකකයක් වන්නේ ද මව් පුවරුවයි.

 ප්‍රොසෙසරය (Processor)

 

මධ්‍ය සැකසුම් ඒකකය (Central Processing Unit) ලෙස පොදුවේ හඳුන්වනු ලබන මෙම ඒකකය පිහිටන්නේ මව් පුවරුව මතයි. පරිගණකයේ මොළය ලෙස හඳුන්වා දිය හැකි මෙම උපාංගය තාර්කික හැකියාවන්, මතක තබා ගැනීමේ හැකියාවන්, ගණනය කිරීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ. ප්‍රොසෙසරය යනු විශාල පරිපථ ගණනාවක් ඉතා සියුම් ලෙස තනි ඒකකයකකට රැගෙන ඒමක් බව පසුගිය ලිපියකින් කියැවුණි. ප්‍රොසෙසරයේ වේගය හෙවත් Clock Speed එක මෙගා හර්ට්ස් (MHz) වලින් මනිනු ලබන අතර එම අගයෙන් කියැවෙන්නේ වැඩසටහන් ධාවනය කිරීමේ හැකියාවයි. දැනට ඇති නවීනතම ප්‍රොසෙසර මාදිලි ලෙස Intel Cor i3, Intel Core i5, Core i7 තුන් වන පරම්පරාව හඳුන්වා දිය හැකිය.


ප්‍රධාන මතකය ( RAM - Random Access Memory)

මෙම ඒකකයද මව් පුවරුව සමඟ වෙනම සම්බන්ධ වන අතර පරිගණකයේ සිදු කරන ගණනය කිරීම් සියල්ල හා ධාවනය වන මෘදුකාංග සියල්ල ධාවනය වන්නේ මෙම මතකය මඟිනි. එම නිසා පරිගණකයේ ක්‍රියාකාරීත්වයට මෙම රැම් මතකය ඉතා වැදගත් වන අතර වැඩි ධාරිතාවයකින් යුත් රැම් මතකයක් පරිගණකයේ භාවිත කිරීමෙන් වැඩි මෘදුකාංග ප්‍රමාණයක් ධාවනය කළ හැකිවාක් මෙන්ම පරිගණකයේ දත්ත සැකසීමේ හැකියාවද ඉහළ නංවයි. එ මෙන්ම පරිගණකය ක්‍රියා විරහිත කළ විට රැම් මතකය මැකී යන අතර පසුගිය කාලයේ දී විවිධාකාර වූ රැම් වර්ග පරිගණක සඳහා භාවිතයට ගැනුණි. ඒ අතර 

  • SDRAM(Synchronized Dynamic RAM)
  • RDRAM(Ram bus DRAM )
  • DDR RAM(Double Data Rate RAM)
                                                                                   විශේෂිතය.  දැනට පරිගණක භාවිතයේ පවතින්නේ DDR 3 මාදිලියේ රැම් වන අතර ඒවා 1GB (ගිගා බයිට් එකක) මතක ධාරිතාවයේ සිට ඉහළට ලබා ගැනීමට ඇත.




විදුලි සැපයුම් ඒකකය ( Power Supply Unit)


ප්‍රධාන විදුලි සැපයුමෙන් හෝ U.P.S. උපකරණයෙන් ලබා දෙන විදුලිය මඟින් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය සපයනු ලබන්නේ මෙම කොටස මඟිනි. යම් හෙයකින් මෙම කොටසේ ක්‍රියාකාරීත්වය ඇණහිටිය හොත් පරිගණකයට අවශ්‍ය විදුලි සැපයුම නො ලැබේ. 

මෙම විදුලි සැපයුම්  ඒකක ප්‍රධාන වශයෙන් වර්ග 03 කින් හඳුනාගත හැක.


  • AT Power Supply

  • ATX Power Supply

  • ATX -02 Power Supply


මව් පුවරුවට, දෘඩ තැටියට හා තැටි ධාවකයට මෙම මඟින් ප්‍රධාන වශයෙන් විදුලිය සපයනු ලබයි.

 


දෘඩ තැටිය ( Hard Disk)

අප භාවිත කරන පරිගණක වැඩසටහන්වලින් සකස් කරන යම් යම් දේ ගබඩා කිරීමේ ප්‍රධාන මාධ්‍යය ලෙස අප භාවිත කරන්නේ පරිගණකයේ ඇති දෘඩ තැටියයි. එ මෙන්ම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය ධාවනය වන්නේ ද දෘඩ තැටිය තුළයි. දැනට ඇති නවීනතම දෘඩ තැටි වර්ගය වන්නේ S- ATA (Serial ATA) වර්ගයයි.

තැටි ධාවකය ( Disk Drive) 

දත්ත ලිවීම සඳහා හා ලියූ දත්ත කියවීම සඳහා විශේෂයෙන් සකසන ලද තැටි ධාවකයක් දැන් බොහෝ පරිගණකවල ඇතුළත් කර ඇත. විශේෂයෙන් සකසන ලද ප්ලාස්ටික් තැටියක් මත තුනී ලෙස අතුරන ලද චුම්බක අංශු විශාල ප්‍රමාණයකින් මෙම තැටි සමන්විත අතර දත්ත ලිවීම කරන ආකාරය අනුව චුම්බක ක්ෂේත්‍රය සකස් වීම තුළින් දත්ත ලියැවේ. CD/DVD හා Blue Ray ලෙස ලියවීම් සිදු කළ හැකි හා තැටි ධාවනය කළ ධාවක වර්ග කීපයකි.

ඉහත සඳහන් සියළු දෘඩාංග අසුරා ඇත්තේ Casing එකක වන අතර ප්‍රධාන ලෙසට Casing එකක හරස්කඩක් පහත පරිදි වේ.

අද වන විට බොහෝ දුරට භාවිත වන්නේ ඉහත රූපයේ සඳහන් Tower Casing වන අතර ප්‍රධාන ලෙස Casing වර්ග 03කි.

  • Full Tower
  • Mid Tower
  • Mini Tower

මෙසේ පරිගණකයේ මූලික වූ අභ්‍යන්තර උපාංග පිළිබඳව කෙටි සටහන අවසන් වන අතර මී ළඟට පරිගණකයෙන් අප සකස් කරන ලිපි ආදී දේ අපට දැකගැනීමට හැකියාව ඇති තිරය, මෙන්ම දත්ත ඇතුළත් කිරීමේ උපාංගය වන යතුරු පුවරුව, මවුසය හා පරිගණක මුද්‍රණ යන්ත්‍රය හෙවත් ප්‍රින්ටරය පිළිබඳව කෙටියෙන් විමසා බලමු.

පරිගණක තිරය ( Monitor)

ප්‍රධාන වශයෙන් පරිගණකයේ තිරය අද වන විට යොදා ගන්නා තාක්ෂණයට අනුකූලව වර්ග 03 කට ‍බෙදා වෙන් කර දැක්විය හැක.

  1. CRT Monitor (Cathode Ray Tube Monitor)
  2. LCD Monitor (Liquid Crystal Display Monitor)
  3. LED Monitor (Light Emitting Diode Monitor)
මෙයින් CRT Monitor වර්ගය අද වන විට ක්‍රමයෙන් අභාවයට යමින් පවතින අතර වැඩි විදුලියක් වැය වීම, අධික ලෙස රත් වීම, වර්ණ විභේදන හැකියාව අඩු වීම යන හේතු මෙයට ප්‍රධාන වී ඇත. කැතෝඩ කිරණ නිකුත් වන නලයක් ආධාරයෙන් තිරයේ විවිධ රටා මැවීම මෙහි තාක්ෂණයයි.

CRT Monitor


CRT Monitor තාක්ෂණය


LCD Monitor තිරයක් තනා තිබෙන්නේ වීදුරු හෝ නම්‍යශීලී ප්ලාස්ටික් තහඩු දෙකක් අතර විශේෂ රසායන ද්‍රව්‍යක් සිර කිරීමෙනි. ඝනයක් හෝ ද්‍රව්‍යක් නොවෙන මේ ද්‍රව්‍යය හදුන්වන්නේ ද්‍රව ස්ඵටික(liquid crystal) කියාය. 1888දී ඕස්ට්‍රේලියාවේ ෆෙඩ්රිච් රේනිසර් විසින් සොයා ගත් මේ මාදිලියේ රසායන ද්‍රව්‍ය අතරින් දැන් භාවිතා කරන ද්‍රව ස්ඵටිකය හෙවත් බයිෆීනයිල් සංයෝග දියුණු කලේ හැටේ දශකයේදී බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් විසිනි. ඔවුහු ද්‍රව ස්ඵටික ඇසුරෙන් පික්සෙල්(pixels) හෙවත් තිරයේ ක්‍රියාකාරී ඒකක තැනුහ.
මෙහි එක් එක් පික්සෙලය පාලනය කරන්නේ ට්‍රාන්සිස්ටර් මගිනි. ඉන් ලැබෙන සංඥාව අනුව පික්සෙල් වර්ණ ගැන්වේ. ප්‍රධාන පික්සෙලයක් රතු, කොළ හා නිල් යන වර්ණ පෙන්වන උප පික්සෙල්වලින් සමන්විතය.
රූපය මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වල හැසිරීමෙනි. තිරයක තිබෙන පික්සෙල් ගණන වැඩි වන විට එහි විභේදනය වැඩිය. එනම් පැහැදිලිතාව වැඩිය. සාමාන්‍ය එල්සීඩී මොනිටරයක පික්සෙල් මිලියන ගණනක් තිබේ.
මුල් කාලයේ පික්සෙල් පාලනය කරන ට්‍රාන්සිස්ටර් සඳහා යොදා ගත්තේ ඒ-සිලිකන්(a-Si/amorphos Silicon) නම් සිලිකන් මාදිලියයි. එහෙත් දැන් ඊට වඩා ලාභදායක හා කාර්යක්ෂම පී-සිලිකන්(p-Si/poly Silicon) යොදා ගන්නා නිසා ෆ්ලැට් ස්ක්‍රීන් තිර මිලෙන් අඩුය.

සීආර්ටී මොනිටරයක් තබන්නට යන ඉඩ ප්‍රමාණයට වඩා හතර ගුණයකින් අඩු ඉඩකි එල්සීඩී මොනිටරයක් තබන්නට යන්නේ. එසේම පැතලි තිර මොනිටර් බිත්තියක හෝ පැති මේසයක එල්ලා තබන්නට පුළුවන. සීආර්ටී මොනිටර්වලට වඩා එල්සීඩී මොනිටරය බර අඩුය. තැනින් තැනට ගෙන යාමේ පහසුව ලැබෙන්නේ එනිසාය. එහෙත් පැතලි තිර මොනිටර්වල ප්ලාස්ටික් තහඩු තිබේ නම් ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කල යුතුය. මන්ද පැතලි තහඩුව තදවීම නිසා තෙරපුනහොත්, තිරයේ ගුණාත්මක බව අඩු වී යන නිසාය.
කැතෝඩ කිරණ නලය ඇති මොනිටරයක් වැඩි විදුලියක් උරා ගනී. එසේම තිරයෙන් පිටතට හානිකර විද්‍යුත් චුම්භක තරංග ස්වල්පයක්ද නිකුත් කරයි. පැතලි තිර මොනිටරයක මේ දෙකම අඩුය.
එහෙත් එල්සීඩී මොනිටරයක් මගින් සියුම් වර්ණ රටා පෙන්වන්නේ දුර්වලවය. සීආර්ටී මොනිටරයකට ඉතා ඉහල විභේදනයක්(resolution) ඇති නිසා වර්ණ මිලියන ගණනක් එකිනෙකින් වෙන්කොට පෙන්විය හැක. එනිසා එකිනෙකට වෙනස් වර්ණ රැසක් පෙන්වීම අතින් එල්සීඩී මොනිටරය සිටින්නේ පසුපසනි.


LCD Monitor

LCD Monitor තාක්ෂණය


දැන් දැන් පරිගණක තිර තාක්ෂණය ක්‍රමයෙන් LED Monitor වෙත ගමන් කරමින් පවතින අතර අඩු විදුලි ප්‍රමාණයක් වැය වීම හා උසස් වර්ණ විභේදන හැකියාවක් LED Monitor සතු වීම මෙයට ප්‍රධාන හේතුවයි.


LCD Monitor 


මී ලඟ ලිපිය තුළින් අපි ප්‍රධාන වශයෙන් පරිගණකයේ මවුසය හා යතුරු පුවරුව පිළිබඳවත් එමෙන්ම පරිගණක මුද්‍රණ යන්ත්‍රය හෙවත් ප්‍රින්ටරය පිළිබඳවත් කෙටියෙන් විමසීමක් කරමු.