Saturday, August 10, 2013

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පැමිණි ගමන් මඟ හා අනාගතය...



1970 දශකය වන විට භාවිත වූ ටයිප් රයිටරය මඟින් කාර්යාල කටයුතු පහසු කරගැනීම සඳහා හැකියාව ලැබුණද ඒ දශකය තුළ කරළියට පැමිණි Microcomputers නාමය අතරින් පතර අසන්නට ලැබුණි. බිල් ගේට්ස් හා පෝල් ඇලන් යන තරුණ පරිගණක පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාඥයින් දෙපළ විසින් අනාගත පරිගණක යුගයේ හැඩ රුව පිළිබඳව අදහස් උකහා ගැනීමට මෙම යුගය යොදා ගත් අතර 1975 වන විට එසේ ලබා ගත් දැනුමට අනුකූලව Microsoft සමාගම ආරම්භ කරන ලද්දේ ඉතා කුඩාවට ය. 

1980 වසරේ දී ඉහත කී පරිගණක විද්‍යාඥයින් දෙපළ විසින් ඔවුන්ගේ කළින් සරසවි මිතුරෙකු වූ ස්ටීව් බැල්මර් තම සමාගම වෙත එක් කර ගත් අතර ඒ වකවානුව තුළදීම IBM සමාගම විසින් ඔවුන්ගේ Chess නම් ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්නා ලද්දේ ද මොවුන්ගේ Microsoft සමාගමයි. මේ අතර Microsoft විසින් ඔවුන්ගේම පරිගණක මෙහෙයුම් පද්ධතියක හැඩතල සොයා පර්යේෂණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස DOS (Disk Operating System) මෙහෙයුම් පද්ධතිය නිමැවිණ.

 DOS (Disk Operating System) මෙහෙයුම් පද්ධතිය 


1983 වසරේ දී මුලින්ම Microsoft සමාගම විසින් Windows පරිගණක මෙහෙයුම් පද්ධතිය දියුණු කිරීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන්නට යෙදුණු අතර, ඊට පෙර සිටම Microsoft Windows පෙර නිකුතුව වන DOS ( Disk Operating System) මෙහෙයුම් පද්ධතිය IBM සමාගම මඟින් ඔවුන්ගේ පරිගණක සඳහා යොදා ගන්නා ලදී. එහෙත් එම මෙහෙයුම් පද්ධතිය තුළ තිබූ හසුරවන්නාගේ ඇසට ප්‍රිය මනාප නොමැති ගුණය නිසා තවදුරටත් සිදු කරන ලද අත්හදාබැලීම්වල ප්‍රතිඵලයක් ලෙස චිත්‍රක වැඩතල මෙහෙයුම් පද්ධතියක් (Graphical User Operating System) ලෙස Windows 1.0 එළි දැක්වුණි.

                                                                       
                                                                        Windows 1.0



අද භාවිත කරන මෙහෙයුම් පද්ධතීන්ට වඩා අතිශයින්ම ප්‍රාථමික වූ මෙම මෙහෙයුම් පද්ධතියේ වූ මෘදුකාංග පරිහරණයේ දී ඇති වූ දෝෂ නිරවුල් කරමින් Windows 1.01 එම වකවානුවේ දී ම එළි දැක්වුණි. මෙම අනුවාදයේ දී පරිගණක තිරය පහතින් කාර්යය තීරුව (Task Bar) ඇතුළත්ව තිබුණි.

 Windows 1.01

1987 වසරේ දී Windows 2.0 ලෙස මී ළඟ අනුවාදය කරළියට පැමිණි අතර වැඩසටහන් කිහිපයක කාර්යයන් සිදු කිරීමේ දී  එම වැඩසටහන් කවුළු (Window) එකින් එක පතිත වීමේ ගුණාංගය (Overlapping Window) හඳුන්වා දුන් මෙම Windows මෙහෙයුම් පද්ධති අනුවාදයේ Paint, Clock, Terminal වැනි භාවිතයට පහසු යෙදුම් මෘදුකාංග මෙන්ම දත්ත ගොනු කළමණාකරණය සඳහා File Manager අඩංගු වී තිබුණි. Windows Excel හා Windows Word නිකුත් කිරීම සඳහා මූලාරම්භය වූයේ ද මෙම Windows සංස්කරණයයි.

 Windows 2.0

1990 වසරේ දී නිපදවන ලද මී ළඟ සංස්කරණය වන Windows 3.0 සඳහා දැනටත් අප අතර අතිශයින්ම ප්‍රචලිත Solitaire නම් පරිගණක ක්‍රීඩාව , වීඩියෝ චිත්‍රක නිරූපණය සඳහා සහාය වැඩසටහන් (Support for VGA) වැනි අංග මෙන්ම ත්‍රි මාණ (3D ) පෙනුම ද එක්කර තිබීම නිසා ඉතා ජනප්‍රිය විය.
 1992 වසරේ නිකුත් වූ Windows3.1 නම් වන අනුවාදය තුළ ප්‍රමාණාත්මකව සැකසිය හැකි අකුරු (Scalable True type Font), වැඩිදියුණු කරන ලද ඇද හෙළීම එ නම්,  Drag and Drop ක්‍රියාවලිය, Minesweeper නම් පරිගණක ක්‍රීඩාවමෙන්ම ප්‍රථම වරට බහු මාධ්‍ය නිරූපණය (Multimedia Support)  හඳුන්වාදෙන ලදී. මෙම අනුවාදය පදනම් කරගෙන කණ්ඩායම් ජාලයන්ට (Work Group / Networks)  වඩාත් උපයෝගී වන Windows for Work Group එළි දැක්වුණි.

Windows 3.0
 
1993 දී Windows NT 3.1 ලෙස බිටු 32 ක ( 32bit) මෙහෙයුම් පද්ධතියක් එළි දැක්වූ අතර අධි තාක්ෂණික සේවාදායක යෙදුම් (High-end Workstation and Server Applications) සඳහා මෙය නිපදවා තිබුණි.

 Windows NT 3.1

1995 දී නිකුත් වූ Windows 95 මෙහෙයුම් පද්ධතිය දෘඩ තැටිය (Hard Disk ) භාවිත වන මෙහෙයුම් පද්ධති (Dos Based Consumer Operating System) පදනම් කරගෙන වැඩි දියුණු වූ අතර මෙහි නව මාදිලියේ කාර්යය තීරුවක් (Task Bar) ආරම්භක මෙනුව (Start Menu), මෙන්ම නව අංග රාශියකින් සමන්විත විය.

Windows 95

 1996 දී ව්‍යවසායක කටයුතු සඳහා (Business Release) සහයෝගය දැක්වූ Windows NT 4.0 සංස්කරණය එළි දැක්වුණි. එ මෙන්ම මේ කාල වකවානුව තුළ අත්ල මත තබාගෙන හැසිරවිය හැකි ආකාරයේ ( Pocket Version) පරිගණක ජනප්‍රිය වූ අතර, එම පරිගණක සඳහා Windows CE 1.0 ලෙස මෙම වසර තුළ දී සංස්කරණයක් එළි දක්වන ලදී.

Windows NT 4.0
 
Windows CE 1.0
 
1998 දී Windows 98 නම් වූ සංස්කරණය බිහි වීම Windows පරිගණක මෙහෙයුම් පද්ධති ලොව තවත් එක් යෝධ පියවරක් ලෙසට Microsoft සමාගම හඳුන්වයි. අන්තර්ජාල ගවේශණය සඳහා Internet Explorer වෙබ් බ්‍රව්සරය ද සහිතවත්, Quick Launch Icon Tool Bar ලෙස ක්ෂණිකව යම් වැඩසටහන් ප්‍රමාණයක් ධාවනය කළ හැකි කාර්යය තීරුවක්, USB ධාවනයට ඇති හැකියාව ආදිය ඇතුළත් වූ මෙම මෙහෙයුම් පද්ධතිය නූතන පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා තැබූ නවමු ඉදිරි පිම්මක් විය.

Windows 98

2000 වසරේ දී බිහි වූ Windows NT  තවත් සාමාජිකයෙක් ලෙස Windows 2000 එළි දැක්වූ අතර, සාපේක්ෂව මෙය වඩාත් ස්ථාවර හා ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් විය. එම වසරේ දී ම එළි දැක්වුණු Windows ME එ තරම්ම ජනප්‍රියත්වයට පත් නුවූයේ එහි වූ අස්ථාවර තත්වය නිසාය. විවධ මෘදුකාංග දෝෂ හා වෛරස වැඩසටහන් සඳහා පහසුවෙන් නිරාවරණය වීම එයට හේතුව විය.

Windows 2000
 
Windows ME
 
2001 වසරේ දී එළි දැක්වුණු Windows XP මෙහෙයුම් පද්ධතිය පරිශීලකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වූ අතර අද දක්වාම ලොව වටා සෑහෙන පිරිසක් මෙම Windows මෙහෙයුම් පද්ධතිය පරිශීලනය කිරීමට හේතුව වර්ණවත් වූ  නව අතුරු මුහුණත ( Colorful New Graphical Interface) හා වැඩි දියුණු කළ ආරක්ෂිත විධිවිධාන ආදිය නිසාය.
Windows XP

 2003 වසරේ දී නිපදවුණු දොරට වැඩි Windows Server 2003 සංස්කරණය සේවාදායකයින් සඳහා නිපදවුණු මෙහෙයුම් පද්ධතියක් විය. ( Server Operating System).

Windows Server 2003

2007 දී වෙළඳපොළට පැමිණි Windows Vista සංස්කරණය Windows XP හි තිබූ අංග සම්පූර්ණ වශයෙන් වෙනසකට භාජනය කරමින් වඩා ආකර්ෂණීය වූ අතුරු මුහුණතක්, විනිවිද පෙනෙන අතුරු මුහුණතක් ( Aero Interface), පෙර අනුවාදකවලට වඩා විශාල වූ Desktop Icon හා නව ආරම්භක මෙනුවකින් ද , නව ගැජට් ( Gadget) පහසුකමින් ද යුතුව පැමිණීයද එයට අයත් වූයේ Windows ME ට අත් වූ ඉරණමමය. මෙහි සේවාදායක සංස්කරණය ලෙස 2008 වසරේ දී Windows Server 2008 එළි දක්වන ලදී.

Windows Vista
Windows Server 2008

Windows Vista මඟින් Microsoft සමාගමට සිදු වූ වෙළඳ පොළ කඩා වැටීම හා අපකීර්තිය මකා ගැනීම සඳහා 2009 වසර තුළදී නිකුත් කළ Windows 7 මෙහෙයුම් පද්ධතිය බොහෝ සෙයින් පරිශීලකයින් ඇද බැඳ තබා ගන්නා ලද නවමු වූ මුහුණුවරක් ගත් මෙහෙයුම් පද්ධතියක් වූ අතර, Windows Vista සංස්කරණය මෙන් නොව, පරිගණකයේ ආරක්ෂාව සඳහා වැඩි දුරටත් සැලකිලිමත් වෙමින් සකස් කළ මෙහෙයුම් පද්ධතියක් විය.  පෙර අනුවාදකවලට වඩා විශාල වූ Desktop Icon නිසා පරිශීලකයින්ට හැසිරවීම සඳහා ඉතා ප්‍රියමනාප වූ මෙම මෙහෙයුම් පද්ධතිය Desktop පරිගණක සේම Laptop පරිගණක ද ජනප්‍රිය වූ මේ දක්වාම ඉතා සාර්ථක ලෙස අලෙවි වෙමින් පවතින්නේ ස්පර්ශ තිර ( Touch Screen) තාක්ෂණය ද එයට ඇතුළත් වූ බැවිනි. එ මෙන්ම මෙහි මෙවලම් තීරුව (Tool Bar) එක මතට වැඩසටහන් Minimize කළ විට එය කුඩාවට Preview එකක් ලෙස පෙන්වීම මෙහි වූ සිත්ගන්නා අංගයකි.

Windows 7

2013 වසර තුළ දී නිකුත් කළ Windows 8 සංස්කරණය අනාගත පරිගණක මෙහෙයුම් පද්ධති ස්වරූපයේ නූතන පුනරූපණයක් බඳු විය. එක් එක් වැඩසටහන සඳහා වෙන් වූ Tile පිරි ප්‍රධාන තිරය මත ඩෙස්ක්ටොප් එක මතට පිවිසීම සඳහා වෙනමම Tile එකක් පවතී. ඉතා වර්ණවත් වූ මෙම මෙහෙයුම් පද්ධතිය සමඟ ටැබ්ලට් පරිගණකයක් ද පැමිණියේ මෙම  Windows 8 සංස්කරණය ටැබ්ලට් පරිගණක සඳහා ද උචිත වූ මෙහෙයුම් පද්ධතියක් බව පෙන්වා දෙමිනි. ස්පර්ශ සංවේදී තිරය සඳහා ද ඉතා යෝග්‍ය ලෙස සකස් කර තිබූ මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය සඳහා වෙනමම App Store එකක් ඇති අතර අනාගත පරිගණක ලොව සම්පූර්ණයෙන්ම පාහේ අන්තර්ජාලය පදනම් කරගෙන බිහි වන බවට මෙය මනාවට ඉඟි කරයි.

 Windows 8

 Windows 8 App Store

මෙසේ වින්ඩෝස් පාදක මෙහෙයුම් පද්ධති නව සංස්කරණයන් නිකුත් කරමින් පියවරක් ඉදිරියට ගමන්  කරන විට මුදල් ගෙවා ලබා ගත හැකි හිමිකාරීත්ව මෙහෙයුම් පද්ධති වෙනුවට ඒ හා සමානම උසස් නිදහස් පරිගණක මෙහෙයුම් පද්ධති ද ලොව වටා නිදහස් මෘදුකාං සංවර්ධකයන්ගේ සහයෝගයෙන් බිහි වෙමින් පරිගණක පරිශීලකයින් පිරිස වැඩි කරගනිමින් සිටී. එසේ ලොවට බිහි වන උසස් තත්වයේ නිදහස් පරිගණක මෙහෙයුම් පද්ධති කිහිපයක් පිළිබඳව ලිපිය සමඟින් මී ළඟට අප හමු වෙමු.




No comments:

Post a Comment